අපි අපිවම Run-out කරගැනීම

In උණුසුම් පුවත්, කතු වැකිය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පමණක් නොව සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයම මේ වනවිට මුහුණ පා සිටින්නේ ඉතිහාසයේ අත්විඳි දරුණුතම තත්වයට බව අවිවාදිතය. දිනෙන් දිනම අසන්නට ලැඛෙන්නේ සතුටුදායක පුවත් නොව කළකිරීමට ලක්වන පුවත්ය. එහෙන් අඛණ්ඩව ලබන තරග පරජයන්ය. මෙහෙන් ක්‍රීඩකයෝ එකා දෙන්නා ආබාධවලට ලක්වෙති. කණ්ඩායමේ නායකත්වය දවසින් දවස වෙනස් වෙයි. තේරීම් කමිටුව ඊයේ (29) ඉල්ලා අස්විය. තරග පාවාදීම් ගැන වාර්තා කණින් කොණින් අසන්නට ලැබේ. අලුත්ම අත්දැකීම ගැන කථා කිරීමට පවා ලැජ්ජා සහගතය. එනම් දිගින් දිගටම ලබන පරාජයන් නිසා කුපිත වූ ක්‍රීඩා ලෝලීන් පිරිසක් පසුගිය ඉරිදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ජල බෝතල් ප්‍රහාරයක් එල්ල කලහ. ඔවුන් පහරදුන්නේ ක්‍රීඩකයන්ටදැයි කීමට තවමත් ඉක්මන් වැඩිය. එහෙත් ඉන්දීය ක්‍රීඩාලෝලීන්ට වඩා උසස් මනසකින් හෙබි පිරිසක් ලෙස නම් දරා සිටි අපේ රටේ ක්‍රීඩා ලෝලීන් එම කිරි කළයට ගොම බිංදුවක් නොව ගොම තැම්බක් දමා ගත්හ.
ක්‍රීඩාවේ මූලික ඉගැන්වීම ජය පරාජය සමව විඳ දරා ගැනීමට පුරුදු කිරීමයි. හැමදාම දිනන්නට බැරිවාක් මෙන් හැමදාම පරදින්නේද නැත. 1996 දී අප ලෝක කුසලානය ජය ගනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇත. අන් ක්ෂේත්‍ර මෙන් නොව ක්‍රීඩාවේ ජයග්‍රාහකයා තෝරන්නේ දක්ෂතාවයම මත පමණි. අප 2014 දී පන්දුවාර 20 ලෝක කුසලානය දිනා ගත්තේද දක්ෂතාවයම මුල් කොට තැබූ බැවිනි. හැබැයි ලෝකෙටම ක්‍රිකට් හඳුන්වා දුන් එංගලන්තය තවම එක් වරක් හෝ පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලානය දිනා නැත. එහෙමයි කියා සුද්දන් කිසි දිනක ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ගරහන්නේ නැත. පකිස්ථානය / ඉන්දියාව / ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන ආසියානු උප මහද්වීපයේ ක්‍රිකට් ලෝලීන්ට ඇති පොදු ලක්ෂණයක් ඇත. එනම් ආවේගශීලීබවයි. කෙසේවෙතත් ඉන්දියාව හැර සෙසු රටවල් 3 හිම අන්තවාදයට ගිය ක්‍රිකට් ප්‍රේක්ෂකත්වයක් නොතිබිණ. දැන් අපේ ක්‍රිකට් නරඹන්නන් ගමන් කරන්නේ එතැනටද ? පරාජය විඳ දරා ගන්න බැරිනම් ක්‍රිකට් බලන්නට නොආ යුතුය. ඔවුන්ට ගෙදරට වී මැච් බැලිය හැකිය. පරාජයක් ලද පමණින් බෝතල් විසි කිරීම ක්‍රීඩාවට ඇති ආදරය නොවේ.
ක්‍රීඩකයන් පැරදෙන්නේ කැමැත්තෙන් නොව ප්‍රතිවාදී කණ්ඩායම ඔවුන්ට වඩා දක්ෂ බැවිනි. මෙහිදී සියලුදෙනාම තම තමන්ට ඇගිල්ල දිගු කර තමාගේ වැරැද්ද මොකක්දැයි විමසීම මැනවි. ක්‍රිකට් පරිපාලනය පළමු විත්තිකරුවායි. ක්‍රීඩකයන්ට පඩි නඩි ගෙවීම පමණක් මදිය. ඔවුන් ජයග්‍රහණයේ මාවත කරා යොමුකල යුතු වන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයයි. අප දැන් සිටින්නේ 2017 වසරේය. තාක්ෂණය අතින් ලෝකය තත්පරයෙන් තත්පරය වෙනස් වෙයි. ඔස්ටේ්‍රලියාව වැනි රටවල් ක්‍රීඩා තාක්ෂණය වෙනුවෙන් අති මහත් මුදලක් වැය කර ඒවායේ ඵල නෙලා ගනිති. එහෙත් අප තවමත් සිටින්නේ ඔවුන්ට වඩා ගව් ගණනක් ඈතිනි. පුහුණුකරුවන් සහ කණ්ඩායම තෝරා ගැනීමේදී ඉඩ දිය යුතු වන්නේ පුද්ගලික හිතවත්කමට නොව දක්ෂයාටය. කැපිල්ල කපා දැමුවේ නැත්නම් අපේ ක්‍රිකට් වලට ගොඩ ඒමට තවත් වසර ගණනාවක් ගතවනු ඇත. අවසාන වශයෙන් ක්‍රීඩකයන් ගැනත් වචනයක් කිව යුතුය. රටේ ඉන්න කෝටි 2 ටම ක්‍රිකට් ගසන්නට බැරිය. ඊට දක්ෂ සියල්ලන්ටමද ජාතික කණ්ඩායම නියෝජනයට අවස්ථාව ලැඛෙන්නේද නැත. අවසාන 11 දෙනාට තේරී සිටින්නේ දක්ෂම පිරිස නම් ඔවුන් මුදල් ගැන නොව ප්‍රථමයෙන් රට ගැන සිතිය යුතුය. වරෙක ප්‍රවීණ ක්‍රීඩකයෙක් අපූරු කථාවක් කීවේය. එනම් ඉස්සර මැච් දින්නත් පැරදුණත් ඩේ‍රසිං රූම් එකට එන්නේ හරි වැරදි අඩුපාඩු ගැන කථා කරන්නට වුවද දැන් එන්නේ ෆෝන් එක ඔබ ඔබා බවය. එහි ගත යුතු බොහෝමයකි. පවතින තත්වය අනුව අප 2019 ලෝක කුසලානයට තරග කිරීමට සුදුසුකම් ලැබීම පවා අවිනිශ්චිතය. එසේ නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු. කල යුතු වන්නේ සියල්ලන් වාද භේද දුරලා එකතු වී ප්‍රශ්නවලට විසඳුම් සොයා ලංකාවේ ක්‍රිකට් ගොඩ නැගීමය. නොඑසේනම් අයර්ලන්තය / ඇෆ්ඝනිස්ථානය වැනි රටවලට පවා අප පැරදෙන පුවත් ඇසීම වැඩි ඈතක නොවනු ඇත.

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu