යහපාලන හෝටලයේ දින 730 ක කෑම වේල්වල රස නොරස

In උණුසුම් පුවත්, කතු වැකිය
යහපාලන රජයට වසර 2 ක් ගතවී තිබේ. වත්මන් රජය මේ දක්වා සිදුකල හා ඉටු නොකල දෑ බොහොමයකි. දින 100 ආණ්ඩුව කාලයේ පවා ඉටු කරන බවට පොරොන්දු වූ ඇතැම් දේ තවමත් ඉටු වී නොමැත. එහෙත් කිසි දිනක ලංකාවේ දැක ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු නොවූ ඇතැම් දේ ඉටුවී තිබීම සතුටට කරුණකි. නරක මුලින් කියා හොඳ පසුවට තබමු. 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේදී මෙන්ම අගෝස්තු 17 මහ මැතිවරණයේද ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. මාදුලුවාවේ සෝභිත හිමියන් තැටිය රත්වූ විට පුච්චාගැනීමට හැදු රොටිය එයයි. එහෙත් රොටිය සෑදීමටත් පෙර උන්වහන්සේ අපවත් වූහ. සෝභිත හිමියන් අද සිටියේ නම් රොටි පුච්චනවා තියා කබල අතට ගැනීමට පවා ලැජ්ජා වනු ඇත. එනම් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියා බලයට පැමිණි චන්ද්‍රිකා / මහින්ද මෙන්ම මෛත්‍රීද එහි රස දැන එයම විඳිමින් සිටීමයි.
හැබැයි විධායක ජනාධිපති ක්‍රමයේ තිබූ බලතල කිහිපයක් පාර්ලිමේන්තුවට පැවරීමට මෛත්‍රී පියවර ගත්තේය. එය සතුටට කරුණකි. ආණ්ඩුව 19 ගෙනඒමට දැක්වූ තදියම 20 ට නැත. 20 යනු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. දැනට පවතින මනාප ක්‍රමයට කැමැත්තක් දක්වන්නේ ඉතාම සුලු පිරිසකි. අති බහුතරයක් ඊට විරුද්ධ වනුයේ අධ්‍යාපන සුදුසුකම් නැතත් ගමේ චණ්ඩියා තේරී පත්වන බැවිනි. අනික් අතට ආචාර්යවරු මහාචාර්යවරු දේශපාලනයට එන්නේ ඉතාම අල්ප වශයෙනි. මීට විසඳුමක් ලෙස ගෙන ඒමට යෝජිත වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මනාප කේවල මිශ්‍ර ක්‍රමයෙන් සැදුම්ලත් එකකි. එහෙත් අපේ රටේ ඇති පක්ෂ දේශපාලනය නිසා මේ නව මැතිවරණ ක්‍රමය තවමත් ඇත්තේ කඹ ඇදිල්ලකය. වත්මන රජය බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් තහවුරු කිරීමට දිව්රමිනි. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක ප්‍රධාන ලක්ෂණය මැතිවරණයි. හැබැයි පුංචි ඡන්දය වසර 2 කින් කල් ගොසිනි. ඉදිරියට පවත්වන්න නියමිත පළාත් සභා ඡන්දය ද කල් යන ලකුණු පළවී ඇත්තේය. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මීට එරෙහිව උසාවිය හමුවට පවා ගොස් සිටිති. එහෙත් ඡන්දයක් නම් පෙනෙන තෙක් මානයක නැත. හැබැයි මීට ආණ්ඩුවට විතරක් දොස් කියා පලක් නැත. පසුගිය රජය දේශපාලන වාසි තකා සිදුකල සීමා නිර්ණයේ වැරදි නිවැරදි කිරීමට සිදුවූයේ වත්මන් රජයටය. ඊට සෑහෙන කාලයක් ගතවිය. හොරු ඇල්ලීම ගැන කථා කරලා වැඩක් නැත. පසුගිය සතියේ කතුවැකියම වෙන්වූයේ ඊට බැවින් තවත් අලුතින් ලිවීම අවැසි නැතැයි සිතමු. විගණන පණත / දේශීය ආදායම් පණත / රේගු පණත වැනි දෑ තවමත් කොට උඩය. නමුත් ඒවා කඩිනමින් එන ලකුණක්ද පෙනෙන්නට තිබේ. පරාජිත රාජපක්ෂ කල්ලිය මේවාට විරුද්ධ වන ලකුණු දැනටම දක්වා ඇත. ආණ්ඩුව කොන්ද කෙළින් තියාගෙන මේවා සම්මත කර ගත යුතුය. නිවැරදි දෙයක් කර ගෙදර යාමට සිදුවුවත් දුකක් නැත.
ශ්‍රී ලංකාව තුළ සිදුවනු ඇතැයි කිසිදා විශ්වාස නොකල දේවල් රැසක් ගතවූ වසර 2 දී අපිට දකින්නට ලැබුණි. ජනාධිපතිවරයා සතුව පැවති අසීමිත බලතල පාර්ලිමේන්තුවට පැවරිණි. එමගින් හිතුමතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැනි දෑ අහෝසි විය. පාර්ලිමේන්තුවට වග කියන ජනපතිධුරයක් ඇතිවිය. කවුරුන් මොනවා කීවත් බියෙන් සැකෙන් තොර නිදහස් සමාජයක් රට තුළ පවතී. අද සුදු වෑන් සවාරි නැත. මාධ්‍යවේදීන් මහමග පැහැරගෙන ගොස් කොණ්ඩා රැවුල් කපන්නේ නැත. රාජපක්ෂ රජයේ මෙන් උද්ඝෝෂණවලට වෙඩි තබන්නේ නැත. ජනාධිපතිවරයා උපහාසයට ලක්කර කාටූන් අඳින මට්ටමට සයිබර් නිදහසද පවතී. රාජපක්ෂ රජයේ මේවා කිරීම තියා සිතීමවත් රාජ උදහසට ලක්විය. හැබැයි වෙනස සැපද අහන පසුගිය රජයේ උඩින් වැජඹුණු ඔටුන්න හිමි කුමාරයාට මේවා පෙනෙන්නේ නැත. උදේ සවස සමාජ මාධ්‍ය තුළින් රජයට ගහන්නේද එම නිදහස යොදාගනිමිනි. ස්වාධීණ කොමිෂන් සභා පිහිටුවීම යහපාලන රජය ලද තවත් ජයකි. කලු දශකයේදී කොමිෂන් ස්වාධීන වූයේ නැත. සිටියේ තමන්ගේ හිතවතුන්ය. අද රජයේ ඇමතිවරුන් ඉල්ලා අස්වන තැනට කොමිෂන් බලවත් වී ඇත. අල්ලස් කොමිසම කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්නේ උපරිම නිදහස භුක්ති විඳිමිනි. නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධිපත්‍යය ගැන කීමට දොසක් නැත. අධිකරණවලින් දෙන තරමක් දෙන්නේ ආණ්ඩුව ගත් තීරණ සංශෝධනය කරන තීන්දුය. සෘජු තීන්දු දුන්නා කියා අගවිනිසුරුවරිය ඉවත් කිරීමට දෝශාභියෝග ගෙනවිත් හූ කියා කිරිබත් කා ඇය එළවූ හැටි අපට තවමත් මතකය. අද අරලිය ගහ මන්දිරයෙන් හෝ ජනපති මැදුරෙන් නඩු තීන්දුව ලියා එවන්නේ නැත. ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව නැවතත් පිළිගන්නා රටක් බවට පත්ව තිබේ. අද අපට ජිනීවා තර්ජන නැත. ජී එස් පී බදු සහනය නැවත හිමිවීමේ වටිනාකම දන්නේ උදේ සිට රෑ වෙනකන් ඉඳිකටු හා නූල් සමග ඔට්ටුවෙන දුප්පත් ගාමන්ට් කොල්ලො කෙල්ලෝ පමණි.
ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් නිල සංචාර සඳහා යන්නේ ලෝකයේ උසස් යැයි පිළිගන්නා රටවලටය. ලංකාවට එන්නේත් එවැනිම රාජ්‍ය නායකයන්ය. මහින්ද රාජපක්ෂ ගියේත් මෙහෙට ආවේත් ස්වාසිලන්තය / උගණ්ඩාව වැනි රටවල නායකයන්ය. තොරතුරු පණත සම්මත වීම විශේෂයෙන් ජනමාධ්‍යවේදීන් ලැබූ විශිෂ්ඨ ජයකි. දැන් මූලාශ්‍ර සැගවීමට කිසිවෙකුට නොහැක. රාජ්‍ය සේවයේ ගණුදෙනු විනිවිදභාවයකින් සිදුවන්නේ තොරතුරු පණතට පිං සිදුවන්නය. රාජ්‍ය සේවක වැටුප් දහ දහසකින් වැඩි විය. මහින්දගේ කාලයේ මාස 2 න් 2 ට වැඩි කල ඉන්ධන / ගෑස් මිල වසර 2 ක සිට ස්ථාවර මට්ටමක පවතී. අත්‍යවශ්‍ය ඖෂධ මිල සෑහෙන මට්ටමකින් අඩු විය. අක්ෂි කාච / ස්ටේන්ස් මිල අඩුවීමේ සහනය දන්නේ ඒවා අවැසි දුප්පත් ජනයා පමණි. ඕනෑම දෙයක හොඳ නරක දෙකම ඇත. හැබැයි යහපාලන රජයේ ගතවූ වසර 2 ප්‍රශ්න පත්‍රයක් නම් අපිට දිය හැකි ලකුණ වන්නේ සතුටුදායකයි කියාය. එය හොඳයි හෝ ඉතා හොඳයි කරගැනීම ඇත්තේ රට කරවන අය අත පමණි.

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu